වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා: වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක් ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුව...

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ අතර ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද කියා සිටියේය.

රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.